මා දුටු '96 (96 දෙමළ සලරැව ගැන මගේ කියවීම )
සිත් ඇදගන්නාසුළු ලෙස පැවසූ සාමාන්ය ආදර කතාවක්.සත්ය ලෙසම මෙය සමාජයේ එදිනෙදා දකින සරල,සාමාන්ය කතාවක් නැත්නම් එක් සිදුවීමක්.
මෙම සිනමා පටය යම් තැනකදී ඔබව කැබලිවලට බිඳ දමන්නට සමත් වෙනවා.කාලය සියල්ල විසඳාවිද ?අපේ ජිවිතයේ යම් වෙලාවක අපෙන්ම අහන ප්රශ්නයක්. මෙය නැරඹු විට මට හැගුනේ කාලය සියල්ල සඟවාගෙන සිට නැවත නොසිතු වෙලාවක අපට පෙන්වන අපූරැවයි.
අවිවාදයෙන්ම එය ඉතාම දුක්බර කතාවක් එහෙත් මොහොතක දුකක්ද යන්න සිතා ගත නොහැකි විරාමයක ඔබව සන්තුෂ්ටියකට රැගෙන ගියත් එක් මොහතක දෑසට එන කඳුල ඔබට නවතන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ආදරය වේදනාවක් ද? නැහැ.නරඹන්න.
නැරඹුම අවසනදි ඔබට මේ චරිත පිළිබඳව යම් සිතාගත නොහැකි හැඟීමක්, බැඳීමක් දැනේවි.ඒ ඔබ. ඔබේම මතකයන්. ඒ ඔබ ඔබවම කොහේදී හෝ එතුලින් දකින නිසාවෙන්.
වෙරලේ සිටියත් රැල්ල පාගන්නට කිසි දිනෙක මා හට කැමැත්තක් නොවුනේ සීනි බෝල හෝ කිසිදු රොමාන්තික සිනමා දිය පිලිබදව වු අකමැත්ත නිසාවෙනි.එහෙත් අවසනදි මේ 96 නමැති රැල්ල මාව දියඹේ පත්ලටම ඇදගෙන යන්නට සමත් වුනා.
සාමාන්ය දෙමල සිනමා පටයක දැකිය හැකි වැළඳගැනීම්,සිපගැනීම්,සරාගී දර්ශන,සටන් ජවනිකා,නාට්ය,මධුවිතින් තොර ආදරය පමණක් යොදාගෙන සිදු කල පර්යේෂණයක් දෝ සිතෙන මෙම සිනමා පටය සාම්ප්රදායික දෙමල සිනමාවේ සිමා මායිම් අතික්රමණය කරන්නට සිනමා සම්මතය සුුනු විසුනු කල නිර්මාණයකි. කාලයේ ආපස්සට මතකයන් තුලට අපව රැගෙන යන අපූරැ කාල යන්ත්රයකි.
ආදරයේ සැමරැම හිමි වීම තුල පමණක් නොව අහිමි වීම තුලත් ඇති සැබැ ආදරය අරැත් ගන්වන්නට, දෑතින් නොඅල්ලා,පෙම් බස් නොදොඩා හද පිරි යන ප්රේමාදරයක රස සිතට නගන්නට, රාගයෙන් තොර අපුරැ වැඩිහිටි නිමල බැඳීමක සුව,හද වෙලන්නට පැය දෙකක් පුරා ජිවිතයේ විඳි තැන් සිහිගන්වන අපුරැ කියැවුමක්.
අවසනදි මෙසේ කියමි.කලකට පෙර දිනයක පාසල් බිමේ කොහේදෝ අතැර දා පැමිණි මාවම මා නැවත දැකගතිමි.එවන් කී , නොකී ප්රේමයන්ද අද මිහිපිට ස්වල්පයක් හෝ ඇතැයි කියා විශ්වාස කරමි.
පෝල් කේ එස්
සොයාගෙන බලන්න ' 96 දෙමල සිනමා නිර්මාණය
රංගනය : විජයි සේදුපති,ත්රිෂා
අධ්යක්ෂණය : සී.ප්රේම් කුමාර්
සංගිතය : ගෝවින්ද් මේනන්

Comments
Post a Comment